එගොඩඋයන නව ගාලුපාරේ ජෝසප් පෙදෙස පදික මාරුවේදී සිදුවූ මාරක යතුරුපැදි අනතුරෙන් කුඩා දැරියන් දෙදෙනෙකු හා ඉපදිමට සිටි දරුවාද ජිවිතක්ෂයට පත්වී ඔවුන්ගේ ගර්භණී මවට බරපතල තුවාල ලබා තිබෙනවා.
ඊයේ (04) රාත්‍රි 10 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් පසු තුවාල කරුවන් තිදෙනාම පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල්ගත කිරීමේදී දැරිවියන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන්ගේ ගර්භණී මව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර යැවිනි.
මේ දරුවන්ගේ පියා ප්‍රකාශයක් කරමින් දරුවන් දෙදෙනා පමණක් නොව , ලැබෙන්නට සිටි දරුවාත් මවත් මිය ගිය බව කියා සිටියේය.
මෙසේ මියගොස් තිබුණේ කටුකුරුන්ද මොරටුව නව ගාළු පාරේ ජෝෂප් පෙදෙසේ පදිංචිව සිටි මධුෂාණි මල්කාන්ති (23), රමි (07), අමීෂා (01) යන මව සහ දෙදරුවන්ය.
මියගිය දැරියන් දෙදෙනාගේ දේහ තවමත් පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර මෙම මාරක අනතුර සිදුකළ අධික වේගයෙන් ධාවනයේ යෙදී සිටි 20 හැවිරිදි යතුරුපැදිකරු මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ද සිල්වාගේ නියෝගයකට අනුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඔහු එගොඩඋයන ප්‍රදේශයේම පදිංචි පුද්ගයෙතුවන අතර මින් පෙරද මාර්ගයේ අධික වේගයෙන් යතුරුපැදි ධාවනයේ යෙදී සිටියදී පානදුර පොලීසියේ රතවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 15,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන්නේ රාත්‍රී කාලයේදී මෙලෙස අධික වේගයෙන් රථ වාහන ධාවනය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.





