එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ, ඔහුට විරුද්ධව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබූ තීන්දුව නිෂ්ප්‍රභ කරමින්.
2019 දෙසැම්බර් මස 06 දින වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් දී තිබූ නඩු තීන්දුවට අදාලව මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අභියාචනයක් ගොණු කර තිබූ අතර එහි තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමින් බ්‍රිතාන්‍යය මහාධිකරණය අදාල නඩු තීන්දුව නිෂ්ප්‍රභ කර ඇති බවයි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
2018 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය සමරන අවස්ථාවේදී ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකදී එල්ටීටීඊ හිතවාදීන් වෙත තර්ජනාත්මක අභිනයක් පෑම මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහි චෝදනාව වී තිබුණා.
ඊට අදාල නඩු තීන්දුවට අනුව ඔහුට බ්‍රිතාන්‍යය තුළ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය අහිමි කිරීම ඇතුලූ දඩුවම් කිහිපයක් පැනවීමටයි වෙස්ට්මිනිස්ටර් අධිකරණය 2019 වසරේදී නියෝග කළේ.
කෙසේ වෙතත් ඊයේ දින බ්‍රිතාන්‍යය මහාධිකරණය දුන් අභියාචනා තීන්දුවට අනුව ප්‍රියංක ප්‍රනාන්දු මහතා සියඵම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ අතර අභියාචනය වෙනුවෙන් ඔහු වෙත නඩු ගාස්තු ගෙවන ලෙස චූදිත පාර්ශවය වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් කණ්ඩායමට නියම කෙරුණා.
වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමි නොවන බවට දී තිබූ තීන්දුව වැරදි බවද ඊයේ දින ලබා දුන් අභියාචන තීන්දුවෙන් පෙන්වා දී තිබෙනවා.
විත්ති පාර්ශවයේ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කර දැමූ මහාධිකරණය මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ඉදිරිපත්වූ තර්කය පිළිගනිමින් ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානියද පාර්ශ්ව රාජ්‍යයන් වන 1961 රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියට අනුව ඔහුට හිමිවිය යුතු රාජතාන්ත්‍රික මුක්තිය පිළිබද වූ තර්කය පිළිගත් බවයි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.




