අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතයි.
ඒ, අනුව අද ශෝක දිනයක් ලෙසයි රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක, අග්ගමහා පණ්ඩිත, මහෝපාද්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සඳුදා අලුයම අපවත් වුණා.
අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහය උන්වහන්සේ වැඩවිසූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ මේ වනවිට තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද පස්වරු 3 ට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර දේහය රැගත් රිය පෙරහැර ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයෙන් පස්වරු 1ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
රිය පෙරහැර විහාරස්ථානයේ සිට ශ්‍රී ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාරට පිවිස වමට හැරී ගාලු පාර ඔස්සේ දෙහිවල, වැල්ලවත්ත පසුකර බම්බලපිටිය වජිරපාර හංදියට පැමිණෙනවා. පසුව එම හංදියෙන් දකුණට හැරී වජිර පාරෙන් හැව්ලොක් පාරට පිවිස වමට හැරී හැව්ලොක් පාර ඔස්සේ තුම්මුල්ල හංදියට පැමිණීමටනියමිතයි. අනතුරුව තර්ස්ටන් පාර කේම්බි්‍රජ් පෙදෙස ජාතික කෞතුකාගාර හංදියෙන් දකුණට හැරී ඇල්බට් ක්‍රසන්ට් මාවතේ ගමන්කර දකුණට හැරී නිදහස් වටරවුම, නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි. ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ගමන් ගන්නා කාලසීමාව තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර පොලීසිය පැවසුවේ මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා අදාළ කාලය තුල හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
එමෙන්ම අද ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවිසැල්, සුරාසැල් හා මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබිය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.




