ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ඊයේ (02) දා නාවික හමුදාව කටයුතු කෙරිණි.
මිරිස්ස ධීවර වරායෙන් මැයි මස 31වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් හතර දෙනෙකු රැගත් එක් දින ධීවර යාත්‍රාවක් පැවති අයහපත් කාළගුණික තත්ත්වය හා මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් මුහුදු සැතපුම් 40ක් පමණ (කිලෝ මීටර් 74ක් පමණ) ගාල්ලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී පෙරළි එහි සිටි ධීවරයින් අනතුරට පත්ව ඇත. අනතුරුව එම ප්‍රදේශයේ තිබූ වෙනත් බහුදින ධීවර යාත්‍රාවක් මගින් අනතුරට පත් වූ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇති අතර, එම බේරා ගත් තිදෙනාගෙන් එක් ධීවරයෙකු ආසාධ්‍ය තත්ත්වයේ පසු වී ඇත.
මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදු කරන ලද දැනුම් දීමකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් ආපදාවට පත් ධීවරයින් රැගෙන ඒම සඳහා එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව එම වේග ප්‍රහාරක යාත්‍රාව මගින් ආසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයා ඇතුළු අනෙකුත් ධීවරයන් නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. තවද, මෙම අනතුර හේතුවෙන් අතුරුදන් වු ධීවරයා සෙවීමේ කටයුතු නාවික හමුදාව විසින් තව දුරටත් සිදු කරනු ලබයි.




