ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා පවසා සිටියේ ගැබිනි මවුවරුන්ට ‘ස්පුට්නික් වී’ හැර මෙරට භාවිතා වන අනෙකුත් සියලුම කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට උපදේශන කමිටු අනුමැතිය හිමිව ඇති බවය.
මේ දක්වා අනුමැතිය හිමිව තිබුණේ සයිනොෆාම් එන්නත පමණක් වන අතර ඉදිරියේදී ගැබිනි මව්වරුන්ට ෆයිසර්, ඇස්ට්‍රා සෙනෙකා හා මොඩර්නා එන්නත් ද ලබාගත හැකි බව ඔහු කීවේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමින් විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට මහතා කියා සිටියේ ඉදිරි දෙසතිය තුළ සියලුම ගැබිනි මවුවරුන් අනිවාර්යයෙන් කොවිඩ් මර්දන එන්නතක් ලබාගත යුතු බවය.
ගර්භනී මවකට කොවිඩ් ආසාදනය වුවහොත් කොවිඩ් නියුමෝනියාව ඇතිවීමේ අවදානම වැඩි බවත්, එයින් මව මරණයට පත්වීමටත් දරුවා නියමිත දිනට පෙර බිහිවීම මෙන්ම බිහිවීමට පෙර මියයාමට පවා හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.
මෙරට ගැබිනි මවුවරුන් 30,000ක් පමණ මේ වන විට එන්නත ලබාගෙන ඇති අතර ඔවුන්ට කිසිඳු සංකූලතාවක් මතුව නැති අතර මෙම එන්නත් ගැබිනි මවුවරුන්ට ඉතා ආරක්‍ෂිත බවට මේ වන විට ප්‍රමාණවත් දත්ත ඇති නිසා බියනොවී එන්නත ලබාගන්නා ලෙසත්, පවතින තත්වය අනුව එන්නත ලබානොගැනීම අනාරක්‍ෂිත බවත් විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට මහතා පැවසීය.
ගර්භනී මවකට ගැබිනි සමයේ ඕනෑම අවස්ථාවක එන්නත ලබාගත හැකි අතර පිටගැස්ම එන්නත ලබාගෙන නැති මවුවරුන් ඊට පෙර කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම සුදුසු බවත් පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ ප්‍රදේශයේ සායනයට පැමිණ එන්නත ලබාගත හැකි බවත්, ඔවුන් මේ මාසය නිමවීමට පෙර පළමු මාත්‍රාව හෝ ලබාගැනීම වැදගත් බවත් වෛද්‍යවරයා පැවසීය.




