ඊයේ (28) දින අරලියගහ මන්දිරයේ දී කොරෝනා වසංගතයෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම සිදුවිය.
දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අග්‍රාමාත්‍යවරයාට නිල වශයෙන් මෙම “සුව ධරණී” ඖෂධ මංජුසාව පිළිගැන්වීය.
පළමු අදියර යටතේ දිවයින පුරා පිහිටි සියලුම පූජනීය ස්ථානවලටත්, දෙවන අදියරේ යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මහජනතාවටත් “සුව ධරණී” ආයුර්වේද ඖෂධ මංජුසාව නොමිලේ ලබා දීමට සැළසුම් කර තිබේ.
මෙම ඖෂධ මංජුසාව, සුව ධරණී ප්‍රතිශක්තීකරණ පානය, ගුඩුච්‍යාදී චූර්ණය සහ ඖෂධීය කැඳ වර්ගවලින් සමන්විතය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ , ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.