කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය රට තුළ සිව් වන අදියරට ගිය හොත් සමාජයේ ව්‍යාප්ත වී කොතැනින් මතු වේදැයි පැවසිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේ ය.
වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, කොවිඩ් -19 වැළඳීමෙන් පසු ඇති වන දීර්ඝ කාලීන සංකූලතා පිළිබඳ තවදුරටත් පරීක්ෂණ මට්ටමේ පවතින බැවින් වඩාත් සුදුසුම දේ වෛරස ආසාදිතයකු නොවී සිටීමට වගබලා ගැනීම බවයි.
එබැවින් කොවිඩ් – 19 සුළුවට නොතකා නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වෛරස ආසානයෙන් වැළකී සිටීමට ක්‍රියා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආසාදිතයින් වාර්තාවීම අතින් අපේ රට යහපත් තැනක නොපවතින බව ත් අදියර 7ක් යටතේ පැතිරී යා හැකි වෛසර ව්‍යාප්තිය අතින් ශ්‍රී ලංකාව මේ වනවිට 3 අදියරේ පසුවන බවත් වෛද්‍යවරයා සඳහන් කළේ ය.
කොවිඩ් ආසාදනයෙන් පෙනහළු, හෘදය වස්තුව,මොළය, වකුගඩුවලට සහ අක්මාවට බලපෑම් විය හැකි බවට විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇති බවත් කොරෝනා වැළඳුණු සංකූලතා සහිත අයෙකුගේ ආයු කාලය අවුරුදු 10කින් අඩුවිය හැකි බවට විද්‍යාඥයින් මත ප්‍රකාශකර ඇති බව ද ඔහු එහිදී සඳහන් කළේ ය.
මේ අතර නිවෙස්වලදී මිය යන පුද්ගලයින් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම සම්බන්ධයෙන් ද වෛද්‍යවරයා මෙහිදී අදහස් පළ කළේ ය.
ඔහු පැවසුවේ, නිවෙස්වල මියයාම්වලට විවිධ හේතු බලපෑ හැකි බවත් නොසැලකිලිමත් බව ඊට එක් හේතුවක් බවයි.
මෙම මරණවලට බලපෑ හේතු සම්බන්ධයෙන් මෙතෙක් විද්‍යාත්මක අධ්‍යනක් සිදු කර නොමැති බව ද ඔහු එහිදී පැවසී ය.
කෙසේ වෙතත් ලබා දෙන නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ජනතාව අනුගමනය කරන්නේ නම්, කොවිඩ් 19 අසාදනයෙන් වැළකී සිටිය හැකි බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අවධාරණය කළේ ය.




