රටේ ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීම උදෙසා පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මගෙන් ඉවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 අය-වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද 12 දින පැවැසීය.
2020 වර්ෂය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වී ඇත්තේ අතුරු සම්මත ගිණුම් 4ක් තුළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, රට විශාල ණය උගුලක පැටලී, ණය සේවා පැහැරහරින රටක් වන බවට විපක්ෂය සහ ඔවුන්ට උපදෙස් දෙන දෙස් විදෙස් විශේෂඥයන් පුරෝකථනය කළ අදුරු චිත්‍රය වෙනුවට සිය රජය විදෙස් ණය ඇතුළු සියලු ණය ගෙවු බව අවධාරණය කළේය.
සියයට 6ක පමණ වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගත් රටේ ආර්ථික වර්ධනය 2015 සිට වර්ෂයෙන් වර්ෂය අඩුවන ප්‍රවණතාවයකට ලක්කර වසර 5ක් තුළ කලාපයේ අඩුම ආර්ථික වර්ධන වේගයවන, 2019 දි සියයට දෙකයි දශම තුනකට (2.3) පත්කිරීමට පසුගිය ආණ්ඩුව ක්‍රියා කිරීම කිසිසේත් සාධාරණීය කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවැසීය.
අතුරු සම්මත ගිණුම්වල ඇති සීමා හා හිමව තිබු දුර්වල අයවැය හා ආර්ථිකය තුළ වුවද කොවිඩ්-19 අර්බුධය කළමනාකරණයට රජය විශාල ප්‍රයත්නයක් දරා තිබෙන බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, රෝගීණ් හදුනාගැනීම, නිරෝධායනය, නියමු පරීක්ෂණ හා ආශ්‍රිත සුබ සාධනය වෙනුවෙන් රජය මේ වනවිට රුපියල් මිලියන 70000ක් වැය කර ඇති බව පෙන්වා දුන්නේය.
කොළඹට සීමා වු රෝහල් පහසුකම් වසරකට අඩු කාලයක් තුළ රටේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි රෝහල් 17ක් දක්වා වැඩි කිරීම, රෝගීන්ට විශේෂ ප්‍රතිකාර ඇදන් සංඛ්‍යාව 600කට ඉහළ දැමීමට කටයුතු කළ බව සදහන් කළ අග්‍රාමාත්‍යතුමා, PCR ධාරිතාවය දිනකට 7,500 – 10,000 දක්වා වැඩි කරමින් එම එක් පරීක්ෂණයකට වැය වන රුපියල් 6,000ක මුදල් ඇතුළත්ව දිනකට ඒ සදහා රුපියල් මිලියන 50 වැය කරන බව කියා සිටියේය.
මෙයට අමතරව 2021 අයවැය කතාව ඔස්සේ ලබන නොවැම්බර් 17 වැනිදා සෞභාග්‍ය යේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව රට හමුවේ තබන බවට අග්‍රාමාත්‍යතුමා විශ්වාසය පළ කළේය.




