හම්බේගමුව ප‍්‍රදේශයේ වෙළෙඳ සැලකට ඉකුත් (16 දා) වෙනිදා රාත‍්‍රී භාණ්ඩ සොරකම් කිරීමට ඇතුළුවී කාමරයක නිදා සිටි පුද්ගලයකු පසුදින උදේ වෙළෙඳ සැල විවෘත කිරීමට පැමිණි වෙළෙඳසැල් හිමිකාරිය දැක පළාගොස් ඇති අතර ඒ බැව් පොලිසියට දැනුම්දීමෙන් පසු සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වෙළෙඳසැලේ ජනෙල් කවුළුවකින් වෙළෙඳසැලට ඇතුල් වී එහි තිබූ භාණ්ඩ තොගයක් ඉටි කවරයක දමා බැඳ වෙළෙඳසැලේ යාබද කාමරයක ඇඳක් මත නිදාගෙන සිට ඇත. පසුදින උදේ පාන්දර වෙළෙඳසැල් හිමිකාරිය පැමිණ වෙළෙඳසැලේ දොර විවෘත කරනවාත් සමගම සැකකරු අවදිවී පළාගොස් ඇතත් ඔහුව වෙළෙඳසැල් හිමිකාරිය විසින් හඳුනාගෙන ඇත. ඒ බව හම්බේගමුව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු බීමත්ව වෙළෙඳසැලට ඇතුළුවී ඇති බවත් ඒ නිසාම නින්ද ගිය බවත් පවසා ඇත.
සැකකරු වැල්ලවාය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හම්බේගමුව පොලිසියේ පොලිස් ස්ථානාධිපති ඞී. එම්. ජයසුන්දර මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.