ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලැබූවන් 71 දෙනකු රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් 48 දෙනකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට ලක්කර ඇත. රැඳවූවන් 26 දෙනාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූයේ එම පරීක්ෂණයෙන් බව රාගම ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි පැවැසුවේය.
රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන්ගෙන් දසදෙනකුගේ තත්ත්වය බරපතළ බවද ඔහු සඳහන් කරයි. සෙසු තුවාලකරුවන්ද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලට අද (1 වැනිදා) ලක් කිරීමට නියමිතය.
බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට සහ බන්ධනාගාර තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් වෙත ජනාධිපතිවරයා මෙම නියෝග ලබාදී තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් ඊයේ (30 වැනිදා) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නේය. පොලිස් අධිකාරි ඩී.එල්. රන්දෙණිය, සහකාර පොලිස් අධිකාරි උපුල් සෙනවිරත්න ඇතුළු කණ්ඩායමක් ඊයේ (30 වැනිදා) පස්වරුවේ විමර්ශන ඇරැඹීය.
බන්ධනාගාරයේ කැරැල්ල ඇති වී පැය විසිහතරක් ගතවී තිබුණත් සිරකරුවන් සිරමැදිරි තුළ රැඳවීමට නොහැකි වී තිබිණි. සිරමැදිරිවල දොරවල් කඩා දමා තිබීම මීට හේතුව විය.
කොවිඩ් ආසාදිතයන් 183ක් වාර්තා වූ අතර ඔවුන් සමග ගැටීම නිසා සමස්ත සිරකරුවන් කොවිඩ් ආසාදිතයන් හා ආශ්‍රිතයන් වීමේ අවදානමක් උද්ගතවූ බව බන්ධනාගාර නිලධාරීහු පවසති.
ඒ අනුව කොවිඩ් ආසාදිතයන් යැයි හඳුනාගන්නා ලද පිරිස් බස් රථවලින් වැලිකඩට මාරු කිරීමට පියවර ගෙන තිබිණි.
වැලිකඩ, මැගසින්, මීගමුව බන්ධනාගාරවල නිලධාරීන්ට ද කොවිඩ් වැලඳීම නිසා ආශ්‍රිත නිලධාරීන් බැරැක්කවලම නිරෝධායනය කර ඇත. මේ නිසා මහර බන්ධනාගාරයේ ආරක්ෂාවට පිටතින් නිලධාරීන් යැවීමේද ගැටලුවක් පැනනැගුණි.
මේ අතර මෙම කැරැල්ලේදී පලායාමට තැත් කළ සිරකරුවන් මෙල්ල කිරීම සඳහා එල්ල කළ වෙඩි ප්‍රහාරවලට ලක්ව ඊයේ වනවිට සිරකරුවන් අටදෙනකු මියගොස් තිබිණි. තුවාල ලද 71 දෙනකු රාගම ශික්ෂණ රෝහල වෙත එවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා අනාවරණය කරයි.
තුවාල ලද අය අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ද වූහ.
සිරකරුවන් කැරැල්ල ඇරඹීමත් සමග බන්ධනාගාරයේ නිලධාරීන් නවදෙනකු ප්‍රාණ ඇපයට ගත් අතර එම නිලධාරීන් මුදාගැනීමට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක විය.
මෙහිදී එක් නියාමකවරයකු තියුණු ආයුධවලින් කපා බන්ධනාගාරයෙන් පිටතට එවීමට සිරකරුවන් කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත් ඊයේ (30 වැනිදා) උදෑසන වන විට සියලු බන්ධනාගාර නිලධාරීන් පිටතට ගැනීමට හැකි විය.
කැරැල්ලට එක්වූ සිරකරුවන් බන්ධනාගාරයේ සිරකරු ලේඛනාගාරය, ආහාර ගබඩාව, බන්ධනාගාර අධිකාරි කාර්යාලය, සිරමැදිරි පවා ගිනි තබා විනාශ කර ඇතැයි ඊයේ (30 වැනිදා) උදෑසන අනාවරණය විය.
බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ බෙහෙත් ගබඩාව කඩා එහි බෙහෙත් පෙති පානය කළ පිරිසක් ඊයේ (30 වැනිදා) දහවල් කාලයේත් මෙම කැති ආයුධ ආම්පන්න රැගෙන කලහකාරී ලෙස හැසිරෙන්නට පටන්ගෙන ඇත.
කැති පොරෝ, අලවංගු, කුස්සි ආම්පන්න ඇතුළු ගබඩාවල තිබූ ආයුධ සිරකරුවන් අතට පත්වී ඇත. ගිනි අවි සහිත ගබඩා රැක ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිවීම නිසා විනාශයක් වැළැකි ගිය බව බන්ධනාගාර නිලධාරීහු පවසති.
බන්ධනාගාරයේ පිටත ආරක්ෂාවට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇත.
මුළුතැන්ගෙයට කලහකරුවන් ගිනිතැබීම නිසා උදෑසන වනවිට සිරකරුවන්ට කෑම ලබාදීමද ගැටලුවක් විය. එම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයෙන් පාන් රාත්තල් දෙදහසක් යවා ඇත.