බන්ධනාගාර කලමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මහතා ඊීයේ (2020.12.05) වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දින ගණනාවක් පුරා වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයන් වල නිරත වූ රැඳවියන් වහලයෙන් බස්සවා ඔවුන්ගේ ගැටළු පිළිබඳව සුහදශීලීව සාකච්ඡා කෙරුණු අතර ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ ඉල්ලීම වූ සිව්වස් සමාකාල ක්‍රියාවලියත්, පූර්ණ ආබාධිත සහ නිධන්ගත රෝග වලින් පෙළෙන සහ වයස අවුරුදු 75ට වැඩි රැඳවියන් හට සමාව දීම යන කරුණු පිලිබඳව අවධානය යොමු කරමින් ගරු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමන් විසින් ප්‍රකාශ කර සිටියේ, මේ පිළිබඳව දැනටමත් අමාත්‍යාංශය විසින් අවධානය යොමු කර ඇති බවත්, එලෙසම සමාව දීමට සුළු වැරදිවලට සම්බන්ධ රැඳවියන් ඇප මත නිදහස් කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් ඔවුන්ට දැනුම් දුනි.
තවත් ඔවුන්ගේ ඉල්ලීමක් වූ කොවිඩ්-19 වයිරසය වෙනුවෙන් පවත්වන පීසීආර් පරීක්ෂණ බන්ධනාගාර තුළ ක්‍රමවත්ව සහ කඩිනමින් කිරීම පිළිබදව රාජ්‍ය අමාත්‍යවරයා රැඳවියන් දැනුවත් කළ අතර, නැවත මෙවැනි විරෝධතා නොපවත්වා රැදවියන්ගේ සියලූම ගැටළු රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලෙසට බන්ධනාගාර රැඳවියන් හට උපදෙස් ලබාදුනි.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත සිව්වස් සමා කාලය ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් යම් සාධාරණ හේතූන් මත නිදහස් කිරීමට හා ඇප ලබා දීමට ඇති සියලුම රැඳවියන් සහ සිරකරුවන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් කොවිඩ්-19 වයිරස තත්ත්වය බන්ධනාගාර තුළින් පහ කිරීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාපතිතුමා සමග එක්ව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ගන්නා බවත් ඔවුන් වෙනුවෙන් ප්‍රකාශ කරන ලදි.










