නාවික හමුදාව කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 1340 ක පමණ තොගයක් සහ ග්ලයිෆොසේට් කිලෝග්‍රෑම් 80ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ඊයේ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙරට මුහුදු සීමාව ඔස්සේ සිදුවන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානය මගින් කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම වෙරළ තීරය වෙත පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එහි මළු 37ක අසුරා තිබූ කිලෝග්‍රෑම් 1340 ක් පමණ බරැති වියලි කහ තොගයක් සහ ග්‍රෑම් 100 බැගින් වූ පැකට් 800ක අසුරා තිබූ ග්ලයිෆොසේට් නැමති රසායනික පොහොර තොගයක් සොයා ගැනීමට සමත් විය. එහිදී මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු , එම ඩිංගි යාත්‍රාව සහ වියලි කහ සහ ග්ලයිෆොසේට් තොගය නාවික හමුදා භාරයට ගත් අතර, එම වියලි කහ සහ ග්ලයිෆොසේට් තොගය රැගෙන යාමට සූදානම් කර තිබූ ජාවාරමට සම්බන්ධ යැයි සැක කෙරෙන ලොරි රථයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවරුදු 35 ත් 43 ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, වියලි කහ තොගය, ග්ලයිෆොසේට් තොගය, ඩිංගි යාත්‍රාව සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.






