මැතිවරණවලට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇති කරගත් ගිවිසුම් ඔවුන් විසින් කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළකිරීමකින් පසුවන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළා.
මහනුවර ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් හා එක්වන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු එහිදී ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු ලබාදුන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ සමඟි ජන බලවේගයට අවශ්‍ය නම් පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා සිදුකිරීමට හැකියාව පවතින බවයි.
එමෙන්ම වෙනත් ඕනෑම පක්ෂයකට ද එම අවස්ථාව පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.