එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22 වැනිදා) ආරම්භ වේ.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පදනම් කරගෙන මෙවරද සැසිවාරය පැවැත්වෙන නමුත් ලොව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් ව්‍යසන තත්ත්වය හේතුවෙන් 46 වැනි සැසිවාරය සාමාජික රාජ්‍යවල නියෝජිත කණ්ඩායම් ජිනීවා නුවරට නොකැඳවා අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් (Virtual) පැවැත්වෙනු ඇත.
මෙවර සමුළුවට සාමාජිකත්වය ලබා ඇති රටවල් සංඛ්‍යාව 47 කි. ඒ අතුරින් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මෙරටට එරෙහිව ඉදිරිපත් කර ඇති බරපතළ චෝදනා අන්තර්ගත වාර්තාව හේතුවෙනි. මෙම වාර්තාව පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් 5 ක විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් මෙවර සැසිවාරයේදී සම්මත කරගැනීමට නියමිතය.
කෙසේ වෙතත් මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාවේ අන්තර්ගත කරුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාව දැනටමත් ජිනීවා වෙත පිළිතුරු යොමුකර ඇති අතර ඒ පිළිබඳව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සජීවීව හෙට (23 වැනිදා) පස්වරු 4.45 ට (ජිනීවා වේලාවෙන්) සවිස්තරාත්මකව සැසිවාරය හමුවේ අදහස් පළ කිරීමට නියමිතය. අනතුරුව අනිද්දා (24 වැනිදා) ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කර ඇති මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව අදාළ සියලුම පාර්ශ්ව එක්ක සිදුකෙරෙන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එය පස්වරු 3.00 ට ආරම්භ වනු ඇත.




