මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පක්ෂයේ නායක අවුන්සාන් සුකී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකී නායකත්වය දරණ ජාතික ලීගය ජයගත් අතර එරට හමුදාව ප්‍රකාශ කළේ එම මැතිවරණය වංචා සහගත එකක් බවයි. 2011 දක්වා මියන්මාරයේ හමුදා පාලනයක් පැවති අතර එම කාලය තුලදී අවුන්සාන් සුකී නිවාස අඩස්සියේ පසුවුණා.
අවුන්සාන් සුකී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසරක කාලයක් සඳහා මියන්මාරය තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මොවුන් අත්අඩංගුවට ගෙන පැය කිහිපයකට පසුව මිලිටරි ටීවි මඟින් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම තත්ත්වයත් සමඟ මියන්මාරය යළි හමුදා පාලනයකට යටත්ව තිබෙනවා. අද අළුයම අවුන්සාන් සුකී ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ හමුදාවේ ඉල්ලීම නොතකා පසුගිය මහ මැතිවරණය ජය ගැනීමෙන් පසුව ජාතික ලීගයට බලය හිමි පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩය පළමු වරට රැස්වීමට උත්සහ කිරීම බව වාර්තා වනවා.




