පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට, හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමු කරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. මෙම වාර්තාවේ සිංහල පිටපත් ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූ සියලු දෙනාට ලබාදී තිබෙනවා.
මේ අතර, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පිරිසට නඩු පැවරීමට ප්‍රතිපාදන තිබේදැයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමුකරන්නැයි අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවද වාර්තා වනවා.
මෙවැනි සිදුවීම් ඉදිරියට නොවීමට ගතයුතු ක්‍රියාමාර්ගද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති අතර, එම සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට හැකියාව පවතින බවද අවසන් වාර්තාවේ දක්වා ඇතැයි සඳහන්.
මේ අතර, එම අවසන් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලැබෙන තෙක් කිසිදු දේශපාලනඥයෙකු හමු නොවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියා.
පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියාකළ යුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉකුත් 19 වැනිදා සය පුද්ගල කමිටුවක් පත් කළ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් පත් කෙරුණා.




