මාස කිහිපයක් ඇතුළත ගස් හෙලීමේ පනතට පොල් ගස ඇතුළත්කොට පොල් ගස් කැපීම සීමාකිරීමට ඉක්මනින් පියවර ගන්නා බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉඩම් කට්ටිකර විකිණීමේදී විශාල වශයෙන් පොල් ගස් කැපීම සිදුවන බවත් පොල්ගස් ආරක්ෂාකිරීමට මෙම කාලසීමාව තුළ පියවර ගැනීම සිදුකළයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සහ හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ පිළිබඳ විගණනයක් සිදුකොට වාර්තාවක් දීමට දැනටමත් නිර්දේශ කොට ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඔුර මහතා ඊට පිළිතුරු දෙමින් පැවසීය. විශේෂයෙන් රාජ්‍ය සම්පත් අවභාවිත වීමක් මෙහිදී සිදුව ඇති බව පෙනීයන බවත් මේ සම්බන්ධව කරුණු දැක්වීම අවශ්‍ය බවත් අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මහතාද වැඩිදුරටත් පැවසීය.
දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය දිරිගැන්වීම් සිදුකිරීමට කටයුතු කරන ලෙසද පැමිණ සිටි මන්ත්‍රීවරු යෝජනා කළ අතර ඒ සඳහා දැනටමත් පියවරගෙන ඇති බවත් ඉදිරියේදී එය වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
එසේම වගා නොකරන ඉඩම් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීම වැදගත් බවද පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වාදුන් අතර ඌන උපයෝජන ඉඩම් එනම් ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් රජයට පවරාගැනීමට සලකා බලන බවද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය. කන්තලේ සීනි කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීම පිළිබඳවද දැනට මෙම ඉඩම්වල පදිංචිවී සිටින පුදුගලයින්ට ඉඩම් ලබාදීම පිළිබඳවද මෙහි සාකච්ඡා කෙරුණි. තවද උතුරු පළාත ආශ්‍රිතව තල් සහ ඉඳි වගාව සංවර්ධනය කිරීම පිළිබඳවද, උතුරු පළාතේ රා කර්මාන්තය සංවර්ධනය කිරීම පිළිබඳවද, කටුපොල් වගාව අවම කිරීම සම්බන්ධවද, කුඩා තේ වතු හිමියන්ට සහනාධාර වැඩිකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණි.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍යවරුන්වන අරුන්දික ප්‍රනාන්දු, ජානක වක්කුඔුර, සහ කණක හේරත් යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයන කිරිදියගොඩ, වීරසුමන වීරසිංහ, ශාන්ත බණ්ඩාර, මධුර විතානගේ, සමන්ප්‍රිය හේරත්, හෙක්ටර් අප්පුහාමි, සම්පත් අතුකෝරල, සුදත් මංජුල, රෝහන දිසානායක, කපිල අතුකෝරල, උපුල් මහේනුද්‍ර රාජපක්ෂ, මංජුලා දිසානායක, මුදිතා ද සොයිසා, වේලු කුමාර්, චාල්ස් නිර්මලනාදන්, රාජිකා විකුමසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.




