ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ධීවර යාත්‍රාවක් හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ අවි ආයුධ තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කේරළ ප්‍රාන්තයේ විසින්ජම් වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී අදාළ යාත්‍රාව වෙරළාරක්ෂක නිලධාරින් භාරයට ගෙන ඇති බව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය නිවේදනය කර තිබෙනවා.
“රවි හංසි“ නම් අදාළ ධිවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300යි ග්‍රෑම් 323ක්, ඒ.කේ 47 වර්ගයේ ගිනි අවි 05ක්, මිලිමිටර් 09 පතුරොම් 1000ක් සොයාගෙන තිබේ.
එමෙන්ම යාත්‍රාවේ තිබී ව්‍යාජ ලිපි ලේඛන තොගයක් ද සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 06 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන් වේ.
එම හෙරොයින් තොගය ඉරානයේ සිට වෙනත් යාත්‍රාවකින් රැගෙනවිත් මෙම ධිවර යාත්‍රාව වෙත ලබාදී ඇති බවට ඉන්දීය බලධාරින් සැක පළ කරයි.




