2005 දී මහින්ද චින්තනය තුළින් මෙන්ම 2010 දී මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින්ද 2019 සෞභාග්‍යයේ දැක්ම ජනතා ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ද ජනතාව හමුවේ තබන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ උතුරු මැද සහ උතුරු ජනතාවගේ ප්‍රමුඛ මහජන ඉල්ලීමක් ලෙස ලැයිස්තු ගතව තිබූ පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු (31) වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
අනුරාධපුර උතුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ දීර්ඝකාලීනව බලපා තිබූ පිරිසිදු පානීය ජල හිගයෙන් මෙන්ම වාරි ජල හිගයෙන් දැඩි පීඩා විදි ජනතාවට සෘජුවම සිය ජල ගැටලු වලට විසඳුම් ලැබෙන, එකී ප්‍රදේශ වල සීඝ්‍රයෙන් පැතිරෙන මාරාන්තිකයක් වකුගඩු රෝග ව්‍යාප්තිය මුලුමනින්ම පාලනය වන පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය රුපියල් මිලියන 22900 ක දේශීය අරමුදල් ආයෝජනය කරමින් ඉදිවන්නකි.
ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ගංඟා ද්‍රෝණි ය වන, රිටිගල කඳුවැටියෙන් පටන් ගෙන හලාවතින් මුහුදට වැටෙන මල්වතු ඔය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය තුලින් සහල් නැළිය ලෙස චිරප්‍රසිද්ධ මන්නාරම යෝධ වැව සහ අකිතමුරුප්පු ආශ්‍රිතව අක්කර 32680 ක කුඹුරු ඉඩම් දෙකන්නයම වගා කිරීමට ජල පහසුකම් ලැබෙන අතරම නව වගා බිම් ලෙස හෙක්ටයාර 2600 ක් වගා කිරීමට හැකි වේ.
එමෙන්ම ජලාශ භූමිය ඇතුළත් තන්තිරිමලේ ප්‍රදේශය නාගරික පහසුකම් සහිතව සංවර්ධිත නගරයක් ලෙස ගොඩනැගීම ට නියමිතය.
පසුගිය කාලය තුළ අවස්තථා කිහිපයකදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට උත්සාහ දැරුවද විවිධ හේතු මත එය ප්‍රමාද වීය. අවශ්‍ය ප්‍රතිපාදන අප්‍රමාද ව ලබා දෙන බැවින්, සියලු ඉදිකිරීම් කටයුතු වසර තුනකින් අවසන් කරන ලෙස වාරිමාර්ග අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරත්න නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙන්ම ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගමලත්, දුමින්ද දිසානායක,අනුරාධ ජයරත්න,ශෙහාන් සේමසිංහ ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.එස්.පී.කුමාරසිරි, කාදර් මස්ථාන්, උද්ධික ප්‍රේමරත්න, සෙල්වන් අඩෙයික්කලාදන් යන මැති ඇමතිවරු සමග වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්, රාජ්‍ය අමාත්‍ය ලේකම් වරුන්, දෙපාර්තමේන්තු සහා අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිළධාරින් සමග දමිළ සිංහල සහ මුස්ලිම් ගොවි ජනතාව රැසක්ද සහභාගී වූහ.