කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගලා ගංවතුර තත්වයක් හටගෙන ඇති බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඊට අමතරව කළුගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්වයක් හටගෙන තිබේ.
අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති අතර අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම උඩවලව ජලාශය වාන් මට්ටමේ පවතින බැවින් එක් දොරටුවක් අද අලුයම සිට විවෘත කර ඇති බැවින් පහත්බිම්වල ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
මේ අතර පසුගිය 13වන දින සිට මේ දක්වා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 61කට බලපෑම් එල්ල වී තිබේ.
එහිදී පුද්ගල මරණ 4ක් සිදුව ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 11,074කට අයත් පුද්ගලයින් 42,252 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති අතර පවුල් 205කට අයත් පුද්ගලයින් 853 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටී.
මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 6කට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (15) රාත්‍රී 7 සිට අද (16) රාත්‍රී 7 දක්වා මෙම අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.
ඒ අනුව කොළඹ, කළුතර, මාතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ රැසක් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ ලෙස ප්‍රකාශකර තිබේ.