වටිනා ජංගම දුරකථන ලබාදෙන බව පවසමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.
අදාළ නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදී කොල්ලුපිටිය පොලීසිය කියා සිටියේ සන්නාමගත ජංගම දුරකථන ලබාදෙන බව පවසා පාරිභෝගිකයින්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ තවත් පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවය.
මේ ආකාරයෙන් පැමිණිලි 3,000කට ආසන්න ප්‍රමාණයක් ලැබීමට නියමිත බවද පොලීසිය එහිදී සඳහන් කර තිබේ.
මුදල් අහිමි වු අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම මූල්‍ය වංචාව පිටුපස ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සැක මතුව ඇති බවය.
මේ හේතුවෙන් අදාළ අපරාධ සිද්ධිය පිළිබඳව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන කරන ලෙස තම සේවාදායකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිඥ චන්ද්‍රසේකර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙහිදී ඇප ඉල්ලීමක්ද ඉදිරිපත් කර ඇති අතර කෙසේවෙතත් ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර අදාළ ව්‍යාපාරයේ හිමිකරුවන් දෙදෙනා ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.




