යතුරුපැදියක් දුම්රියක ගැටිමෙන් වු අනතුරකින් යතුරුපැදියේ පිටුපස වාඩි වී පැමිණි හෙද නිලධාරිණියක බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.ගාල්ල මාතර දුම්රිය මාර්ගයේ ‘ඉමදුව අහංගම දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුර සිදු වී ඇත.
ඊයේ (04) උදැසන 6.30ට පමණ මෙම හෙද නිලධාරිණිය තම සැමියා සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ගාල්ල සිට මාතර බලා ධාවනය වෙමින් තිබු අංක 701 දුම්රියේ ගැටිමෙන් මෙම අනතුර වී ඇත.පොලීසිය පැවසුවේ මෙම දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ගමන් කිරිමට යාමේ දී දුම්රියේ පිටුපස පෙට්ටියේ යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති බව විමර්ශනවලදී අනාවරනය වී ඇති බවයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබු හෙද නිලධාරිණිය 1990 සුව සැරිය ගිලන්රථ සේවය මගින් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇති අතර හෙද නිලධාරිණියගේ සැමියාට කිසිදු අනතුරක් වී නැත.
මෙසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි ජනනි හිරුණා උදයන්ති ධර්මදාස නැමති කරපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරණ හෙද නිලධාරිණියකි.
අහංගම පොලිසියේ රථවාහන අංශය විසින් මෙම අනතුර පිළිබද පරික්ෂණ පවත්වයි.




