ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ මහා පරිමාණ,මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ වී මෝල් හිමියන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළද අමාත්‍යාංශය සමඟ එක්ව මෙම කන්නේ සිට රජයේ සහතික මිලකට වී මිලදී ගැනීමට එකඟතාව පළ කළා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (21) පැවති සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, සමස්ත ලංකා වී මෝල් හිමියන්ගේ සංගමය සහ වී අලෙවි මණ්ඩලයේ නිළධාරීන් සහභාගි වුණා.
ගොවි ජනතාවට සිදුවන අසාධාරණය වැළැක්වීමේ අරමුණින් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරුන් පවසනවා.
ඒ අනුව නාඩු කිලෝවක් සඳහා රුපියල් 50ක්, සම්බා කිලෝවක් සඳහා රුපියල් 52 ක්, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 55ක් වශයෙන් සහතික මිලක් නියම කර තිබෙනවා.
මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ,
"යම්කිසි ගොවියෙකුට සහතික මිල ලැබෙන්නේ නැත්නම් එහෙම ලැබෙන්නේ නැති අවස්ථාවක මුළු ලංකාවේම වී තොගය වුවත් මිලදී ගැනීමට සියලු කටයුතු යොදලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වී අලෙවි මණ්ඩලයෙන්" බවයි.
තවද කිසියම් පාර්ශවයක් අතරමැදියන් ලෙස වී මිලදී ගෙන ජාවාරමක යෙදී සිටිනවා නම් එය අද සිටම නැවැත්විය යුතු බව වෙළඳ අමාත්‍යවරයා අවධාරණය කරනවා. "කිසිම කෙනකුට වැඩි මිලට වී මිලදී ගෙන ඊට වඩා වැඩි මිලකට විකුණන්න මම මේ වෙළඳ අමාත්‍යධූරය දරනකන් ඉඩ දෙන්නේ නෑ."
ඒ සඳහා අවශ්‍ය සියලුම අණපනත් සංශෝධනය කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවා. ඒ අනුව පාරිභෝගික සේවා ආරක්ෂණ පනතේ ඇතුලත් වගන්ති 75ක් සංශෝධනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.