ඊයේ
(25) දිනයේ
සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින්
ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව LPG (එල්.පී.ජී) අඩංගු ලීටර් 18 ක, එසේත් නැත්නම් කිලෝග්‍රෑම් 9.6ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ ගැසට් නිවේදනය මගින් දැනුම් දී ප්‍රකාශයට පත්කර ඇත.
දිස්ත්‍රික් මට්ටමින් අදාළ මිල ගණන්වල වෙනස්වීමක් සිදුවන අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක්.
කළුතර දිස්ත්‍රික්කයේ ගෑස් සිල්න්ඩරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,158ක් වන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ එය රුපියල් 1,181ක් ලෙස ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
යාපනය දිස්ත්‍රික්කයෙන් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,259ක් වන අතර එය ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් අලෙවි කළ හැකි වැඩිම මිල වනවා.
මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බර කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ පැහැදිලිව පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ ගෑස් සිල්න්ඩරවල බර කිලෝග්‍රෑම්වලින් සඳහන් කර නොමැතිනම් ඒවා නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම සහ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් බවයි.