මුහුණු පොත හරහා හඳුනාගත් පෙම්වතා සමඟ පැන ගිය පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් හා ඇයගේ පෙම්වතා පසුගිය 10 වන දා හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැරිය මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය හැදෑරීම සඳහා ඇගේ මාමා විසින් ගෙනැවිත් දුන් ස්මාර්ට් ජංගම දුරකථනය මගින් මන්ඩලපුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ගරාජයක රැකියාව කරන තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගෙන තිබෙනවා.
මෙම දැරියට වයස අවුරුදු එකහමාරේ දී ඇගේ මව වෙනත් විවාහයක් සිදුකර ගැනීම හේතුවෙන් ඇය හැදී වැඩී ඇත්තේ ඇගේ ආච්චි සහ සීයා සමඟ බව පොලිසිය පවසයි.
පසුගිය 24 වැනිදා සැකකාර පෙම්වතා සමඟ නිවසින් පැන ගොස් තිබෙන මෙම දැරිය මිතුරකුගේ නිවසක සහ කඩවත ප්‍රදේශයේ නිවසක දින හතරක් ගත කර ඇති බව වාර්තා වනවා.
පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ එම සැකකරු දැරිය දූෂණයට ලක් කර ඇති බවයි.
නීත්‍යානුකූල භාරකාරත්වයක් නොමැතිව බාලවයස්කාර දැරියක් අපහරණය කිරීම සම්බන්ධයෙන් සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇයගේ මවට භාර දී තිබෙනවා.
මෙම සිද්ධියට මුහුණ දුන් දැරිය පවසා ඇත්තේ කුඩා කාලයේදීම මව් සෙනෙහස අහිමි වීම නිසා තමාට සෙනෙහස දැක්වූ තරුණයා සමඟ පැන ගිය බවයි.




