අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර ඊයේ (23) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන් අතර අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
එම සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ ,ඩග්ලස් දේවානන්ද , ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, සාගර කාරියවසම් , වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
එම සාකච්ඡාවේ දී ඉදිරි අයවැය,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් සහ කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති අතර විමල් වීරවංශ ඇමතිවරයා එම සාකච්ඡාව අතරවාරයේදී යුගදනවි බලාගාරයේ අර්බුදය සම්බන්ධයෙන් ද විමසා ඇත.
මෙම ආයෝජකයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක පමණ ආයෝජන මෙරටට ලැබෙන බවත් ,එය රටට වාසිදායක ආයෝජනයක් බවත් ඊට පිළිතුරු දුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමති වාසුදේව නානායක්කාර සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ද පෙන්වා දී ඇත්තේ යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම ගැටලුකාරී බවයි.
පැය දෙකක් තිස්සේ එම සාකච්ඡාව ගිය නමුත් එකඟතාවකින් තොරව අවසන් වී ඇත.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා යුගදනවි බලාගාරය සම්බන්ධ ප්‍රශ්නය ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් අත්සන් කොට ජනාධිපතිවරයාට ලිපියක් භාර දෙන බවද ඔහු සඳහන් කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




