ඉදිරි සති දෙක තුළ දිවයින පුරා අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් ඇති වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා පවසනවා.
මේ වන විටත් පිළිකා සහ වකුගඩු රෝග සඳහා ලබාදෙන ඖෂධ අඩු මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 230 ක් දක්වා ඉහළ යෑමත් සමග ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් සහ ආනයනකරුවන් ඖෂධ සැපයීම ඊයේ (08) සිට නතර කර ඇත.
මේ වන විටත් ඖෂධ වර්ග සහ අමුද්‍රව්‍ය බොහෝමයක් ආනයනය කර ඇත්තේ ණයට බැවින් ඒවා අඩු මුදලට දේශීය වෙළඳපොලේ අලෙවි කිරීමෙන් නිෂ්පාදකයින්ට සහ ආනයනකරුවන්ට විශාල පාඩුවක් සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ප්‍රමුඛතාව අනුව රටට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ආනයනයට රජය පියවර ගෙන ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



