ඉදිරියේදී තත්වය තවත් නරක අතට හැරෙන බවත් ඒ අනුව රජය මේ ආකාරයට පවත්වා ගෙන යාම අසීරු බවත් අග්‍රාමාත්‍යවරයා ඊයේ (05) කොළඹ පැවති සමුළුවක් අමතමින් කියා සිටියා.
ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ රටේ ආහාර සැපයුම ප්‍රමාණවත් වන්නේ ලබන සැප්තැම්බර් සහ ඔක්තෝබර් දක්වා පමණක් බවයි.
එමෙන්ම ඉදිරියේදී කුඩා හා මහා පරිමාණ කර්මාන්ත කඩා වැටීම නිසා තවදුරටත් රැකියා අහිමි විය හැකි බවට අග්‍රමාත්‍යවරයා අනතුරු අඟවනවා.
“අපේ විදෙස් මුදල් ලැබෙන ක්‍රමවේද අවහිර වෙලා. මේ වනවිට ඉන්ධන සඳහා දිගු පෝලිම් පවතිනවා. හැම උදෑසනකම අපි හිතන්නේ නෞකාවලට මුදල් ගෙවන ආකාරය ගැන. ඒ එකකට ගෙවන්න බැරි වුණොත්, ඒ දවසේ හිඟයක් ඇතිවෙනවා. මේ විදිහට රජයක් ගෙනියන්න බැහැ. නරක කාලය එන්න තියෙන්නේ ඉදිරියට. අපිට ආහාර නැතිවෙයි. අපේ ආහාර සැපයුම් ප්‍රමාණවත් වෙන්නේ ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් දක්වා පමණයි.අපිට ගිය යල හෝ මහා කන්නය සඳහා ප්‍රමාණවත් රසායනික පොහොර තිබුණෙ නැහැ. අපි මේ උත්සාහ කරන්නේ ලබන මහ කන්නයට පොහොර ලබාගන්න. ඒක කරගන්න පුළුවන් වුණොත් ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු සාධනීය තත්ත්වයක් ළඟා වෙයි.
අපි ඒ අතරේ මොකද කරන්නේ ? ආර්ථිකය කඩාවැටෙද්දී, තව තව රැකියා අහිමිවෙයි. කුඩා හා මහා පරිමාණ කර්මාන්ත කඩාවැටෙයි. අපි මේ යන්නේ එතනට. මිනිස්සුන්ට දිනකට ආහාර වේල් තුනක් නොලැබෙන කාලයක් එයි. අපි කුසගින්න පිටුදකින්න ඕනේ.
අපිට මේ වසර තනියම ගෙනියන්න බැහැ. අපි ප්‍රතික්ෂේප කරපු අය ගාවට අපිට යන්න වෙනවා. ජපානයට. මොන රට ද ඩොලර් බිලියන 3ක ආධාරයක් ප්‍රතික්ෂේප කරන්නේ? ස්තූති කරන්නෙවත් නැතිව, සාකච්ඡාවක්වත් නැතිව ? අපි ඒ අයගේ විශ්වාසය දිනාගන්නේ කොහොමද? වාසනාවට අපිට ඉන්දියාව උදව් කළා. චීනයත් අපට සහාය ලබාදී තියෙනවා. අපිට යුරෝපය හා බටහිර දෙසත් බලන්න වෙනවා. ඒ අතරම ණය ගැනත් බලන්න ඕනේ. මොකද, චීන ණය ප්‍රතිපත්ති අනෙක් අයට වඩා වෙනස්.”
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




