![]() |
| හලාවත ධීවර වාරයේ නවතා ඇති බෝට්ටු |
''මට ගෑනු දරුවෝම තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා ධීවරයෙක්. එයා ගොඩට ගේන මාළු ටික මම විකුණලා තමයි අපේ පවුල ජීවත් වුණේ. මේ කොරෝනා කරදරේ නිසා දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු මාළු කන්නත් බයයි. අද මේ මාළු කිලෝ හතර විකුණගන්න ඒකත් ලොකු ගැටලුවක් වෙලා."
හලාවත වැල්ල ගම්මානයේ පදිංචි තිස්තුන් හැවිරිදි වර්ණකුලසුරිය ඉනෝකා දිෂානි කොවිඩ් 19 හමුවේ තමන් මුහුණ දී ඇති තත්ත්වය එසේ විස්තර කළාය. ඉනෝකාගේ කතාව අද වන විට රටේම ධීවරයාගේ කතාව බවට පත්ව ඇති අතර මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අශ්‍රිතව කෝවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමයි. මේ තත්ත්වය සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගත් නමුත් ඒ වන විටත් රටේ ප්‍රධාන ධීවර වරාය කිහිපයක් හා ධීවර වෙළෙඳසල් කිහිපයක් අතර කෝවිඩ් 19 වෛරසය පැතිර ගොස් තිබිණි.
ධීවරයන් නොසලකා හැරලා
හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් හතරක් පමණ අතැතිව සිටි ඉනෝකා දිෂානි මෙසේද කීවාය. "ධීවරයෝ කියන්නේ මේ රටේ නොසලකා හැර ඇති කොට්ඨාසයක්. බලන්න ගොවියන්ට ලබා දෙන සහන. නියඟය හරි ගං වතුර හරි ඇවිල්ලා වගා හානි වුණොත් සහන දෙනවා. පොහොර සහනාධරය දෙනවා. ඇට දෙනවා, උපකරණ දෙනවා, ණය දෙනවා නමුත් ධීවරයන්ට මේ මොනවත් නැහැ. දැලක් බෝට්ටුවක් දෙනවද? ඉන්ධන සහනාධාරයක් දෙනවද? එහෙම තියෙද්දී මේ වසංගතයක් නිසා අසරණ වෙලා ඉන්නෙත් ධීවරයන් තමයි. අපි සහන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලනේ මේ දුර්මත නැති කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියලයි. මාළු කාලා කාටවත් කොරෝනා හැදිලා තියනවද?

















