විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යම්කිසි ක්‍රමවේදයක් යටතේ පෙරපරිදි යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (16) පෙරවරුවේ රූපවාහිනී වැඩසටහන සමග සම්බන්ධවෙමින් පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන 18 වැනිදායින් පසුව එම කටයුතු දියත් කිරීමට සූදානම් බවය.
එහිදී, "විදෙස්ගතවෙලා ඉන්න ගොඩාක් දෙනෙක් ඉතා පහසුවෙන් සතුටින් රැකියා කරන්නේ නෑ. ඔවුන් අපහසුතා ගොඩක් මධ්‍යයේ තමයි ඒ කටයුතු කරන්නේ. තමන්ගේ පවුල ගොඩ ගන්න ඉවසීමෙන් කටයුතු කරන පිරිසක්. පවතින තත්ත්වයන් යටතේ ඔවුන්ගෙන් සමහර අයට රැකියා අහිමි වෙලා, රැඳී ඉන්න අපහසුතා තියෙනවා."
"මේ හේතු නිසා නැවත ලංකාවට එන්න උත්සහ කරනවා. පසුගිය ඔක්තෝබර් 04 වැනිදා ඇති වෙච්ච තත්ත්වයත් එක්ක තමයි විදෙස්ගත ලාංකිකයන් ගෙනඒම වෙනස් වුණේ. අපි නැවැත්තුවේම නෑ, සුළු වශයෙන් ගෙන්වා ගැනීමට සෑම දිනකම වගේ කටයුතු කළා. අද දිනයේත් 186ක කණ්ඩායමක් ලංකාවට පැමිණීමට නියමිතයි. අනිද්දගෙන් විතර පස්සේ පෙර පරිදි ගුවන් යානා කිහිපයක් මගින් ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ සහ පෙරේදා ගෙනා පිරිසෙන් ආසාදිතයින් තුන්හතර දෙනෙක් හමුවුණා. ඒ නිසා බලපෑමක් ඇති නොවන අයුරින් ගෙන්වා ගැනීමට තමයි සැළසුම් කරලා තියෙන්නෙ." යනුවෙන් පැවසුවා.
" ඊළඟ පැය 48න් පස්සේ අනිවාර්යෙන්ම ඔවුන්ව ලංකාවට ගේන්න කටයුතු කරනවා. රටේ දැනට තියෙන තත්ත්වයත් කොවිඩ් ආසාදනයවෙන සංඛ්‍යාවත් යන සියලු කරුණු කාරණා සැළකිල්ලට ගෙන සුදුසුම ක්‍රමවේදයක් යටතේ මෙම ගෙන්වීමේ කටයුතු සිදු කෙරෙනවා." යනුවෙන් ද සඳහන් කළේය.




