පසුගිය 18 වන දා මහනුවර දිගන ප්‍රදේශයෙන් වාර්තා වූ භූ චලනය පිළිබද විද්වත් වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වෙත ඊයේ (24) භාරදී තිබෙනවා.
ඒ අනුව කරුණුවලට අනුව ප්‍රදේශයේ හුණුගල් බහුල වුවද හුණුගල් කැඩීම නිසා මෙම කම්පනය සිදුව ඇති බවට ප්‍රකාශ කළ නොහැකි බවයි එම කමිටුව දැනුම් දී ඇත්තේ.
ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් මෙම විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවා.
භූ කම්පනය පිළිබදව තවදුරටත් ගවේෂණය කළ යුතු බවත් ප්‍රදේශයේ ජලාශ හා ජනතාවගේ ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ කිහිපයක් ද එම භූ විද්‍යාඥයින් සිය වාර්තාව මඟින් පෙන්වා දී තිබෙනවා.
විශේෂයෙන් වික්ටෝරියා වේල්ලෙහි භූ කම්පන උපකරණයක් සවි කිරීමට පියවර ගත යුතු බවට ද මෙහිදී නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර සවිස්තරාත්මක භූ විද්‍යාත්මක, ව්‍යුහාත්මක සිතියමක් සම්පාදනය කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් යෙදවීමටද මෙහිදී යෝජනා වී ඇතැයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.




