බස්නාහිර පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල් හැර සෙසු දිස්ත්‍රික්කවල බොහෝ පාසල් අද (23) දිනයේ ආරම්භ කෙරුණ ද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවති බව වාර්තා වේ.
වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ 6000ක් පමණ ඉගෙනුම ලබන පාසල්වල අද දිනයේ පැමිණ ඇත්තේ 100කටත් අඩු පිරිසක් බවය.
කසේවෙතත් එම පාසල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඉගෙනුම් ක්‍රියාවලිය සිදුකෙරෙන බව ද ඔවුන් සඳහන් කළේය.
ඇතැම් පාසල්වල ගුරුවරුන් පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබෙන බව වාර්තා වේ.
මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා,
“ අපි දිගින් දිගටම කිව්වේ පාසල් අරින්න එපා කියලා නෙමෙයි. පාසල් අරිනවා නම් දෙමාපියන් තුළ විශ්වාසයක් ඇති කරලා පාසල් අරින්න කියලා. එතකොට ඒ වගේම, අපි කිව්වේ දැන් සියලු 6 -13 ළමයි ගෙන්වන්න ඕනේ නෑ. ගෙන්වන්න ඕනේ 11 ට වැඩි පන්තිවල ළමයි කියලා. අද මොකද වෙලා තියෙන්නේ, අධ්‍යාපන ලේකම්වරයා, අධ්‍යාපන ඇමති, රජය කියපු කාරණා එකක්වත් මේ රටේ දෙමව්පියෝ පිළිඅරගෙන නෑ. මධ්‍යම පළාතේ ගත්තොත් ප්‍රධාන පාසල්වල තත්ත්වය මොකද්ද? සියලු පාසල්වල තොරතුරු තියෙනවා. ළමයි අඩුයි. ඇත්තටම ඒ පාසල්වල ළමයි 100ට අඩුයි. සමහර පාසල්වල ළමයි සංඛ්‍යාව 50ට කිට්ටුයි. මේ ඔක්කෝම ළමයි 4000 ට 5000ට වැඩි පාසල්. අනෙකුත් ප්‍රදේශවලත් එහෙම තමයි. ඒ කියන්නේ දෙමාපියන්ට විශ්වාසයක් ඇති වෙලා නෑ ළමුන් පාසල් එවීම සඳහා. අපි දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මේකට වැඩපිළිවෙලක් හදන්න කියලා.“
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කළේ, පාසල් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණ ද ගුරුවරුන්ගේ පැමිණීම සියයකට සියයක් වන බවය.
“තුන්වන වාරය සඳහා අද පාසල් ආරම්භ කළා. මේකට විවිධ විරෝධතා ආවා. නමුත් අද පාසල් ආරම්භ කළා. අපි කියන්න සන්තෝෂයි ඉතාමත්ම සාර්ථකයි. ගුරුවරුන්ගේ පැමිණීම සියයට 100ක් විතර තියෙනවා. බස්නාහිර පළාතේ ඉදලා පිට පළාත්වලට බැරි වුණ අය හැර, අනෙක් සෑම පාසලකම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ පැමිණීම හොඳයි. නමුත් ශිෂ්‍යයින්ගේ පාර්ශවයේ, පොඩි අඩුවීමක් තියෙනවා. දෙමාපියන් එකපාරට එවන්න බයයි. නමුත් අද පහුවෙලා හෙට අනිද්දා වෙනකොට සාර්ථක වෙයි. නමුත් සමස්තයක් විදියට අනෙක් පළාත් 8 සිසුන්ගේ පැමිණීම සියයට 60 එහා තියෙනවා. “
මේ අතර පාසල් සිසුන් ප්‍රවාහනයේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.




