කොවිඩ් මෘත දේහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී තිබියදී නැවත නැවතත් මේ ගැන වාද විවාද කරමින් සංදර්ශන කිරීම මේ අවස්ථාවේ සිදුකළ යුත්තක් නොවන බව කොවිඩ් 19 ආසාදිත දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳව සොයා බලන ඇගයීම් කමිටු සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මේ වන විට කොවිඩ් වෛරසය හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ භූමදානය කරනවාද ආදාහනය කරනවාද යන්න තීන්දුව ලැබී ඇති හෙයින් එම නීතියට අනුගතව කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම මෙම කාරණයේදී වෛරසවේදීන්ට තහවුරු කිරීමට හැකි නම් මෘත දේහයක වෛරසය පැවතිය හැකි පැය ගණන මෙපමණයි කියා එවිට එම දත්ත සලකා බලා කමිටුවට හැකි වෙයි ඒ ගැන තීරණයක් ගැනීමට යැයිද ඇය ප්‍රකාශ කරන ලදී.
තවද මෘත දේහයක වෛරස පවතින කාලය සම්බන්ධයෙන් මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති තත්ත්වයක අනුගමය කිරීමට ඇති හොඳම සෞඛ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බව මහාචාර්යවරිය සඳහන් කළාය. විශේෂයෙන් භූගත ජලය කිසියම් අවස්ථාවක දුෂිත කළොත් නැවත එය පිරිපහදු කිරීමේ කිසිම අවස්ථාවක් නොමැති බව ඇය අවධාරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දී තිබෙන්නේද ඒ මත පිහිටා බව ඇය වැඩිදුරටත් පැවසුවාය.




