කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හඳුනාගැනීම සඳහා ජාන විද්‍යාත්මක විශ්ලේෂන සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා. එවැනි රෝගියෙකු මෙරටින් හඳුනාගතහොත් විශේෂ ආරක්ෂිත ක්‍රමවේද යටතේ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් සැළසුම් කර ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.
මේ අතර නව වෛරස් ප්‍රභේදය බ්‍රිතාන්‍යයෙන් හඳුනාගැනීමත් සමඟ ලොව පුරා රටවල් රැසක් එරටට සිදුකරන ගුවන් ගමන් සහ බ්‍රිතාන්‍යයෙන් පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබුවා. ශ්‍රී ලංකාවද ඊයේ අලුයම දෙකේ සිට බි්‍රතාන්‍යයේ සිට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමටයි පියවර ගනු ලැබුවේ.කෙසේ වෙතත් ලන්ඩන් සිට මෙරටට පැමිණි අවසන් මගී කණ්ඩායම පෙරේදා දහවල් 1.30 ට කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා. එහිදී යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් මගීන් 26 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, ගුවන් තොටුපලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් කිසිදු ආසාදිතයෙකු වාර්තාවී නොමැති බවයි ගුවන් තොටුපල සෞඛ්‍ය ඒකකය සඳහන් කළේ.




