කුඩා රාවණා කොටුව ආශ්‍රිත ප්‍රදේශයේදී අනතුරට ලක්වූ ලයිබීරියානු නැවෙන් කොරල්පර පරිසර පද්ධතියට සිදුවී ඇති හානිය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂඥ කිමිදුම් කණ්ඩායම් යෙදවීම සඳහා අවධානය යොමුකර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි.
නැව අනතුරට ලක්වූ ප්‍රදේශයේ මුහුදු රළ ඉතා ප්‍රවේගකාරී වීම නිසා නැව ආශ්‍රිත මුහුදු කලාපය නිරීක්ෂණය කිරීමේ අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බැවින් මෙම නැව අනතුරට ලක්වූ අවස්ථාවේ කුඩා රාවණා ආශ්‍රිත කොරල් පරිසර පද්ධතියට යම් හානියක් සිදුවන්නට ඇතැයි තිබෙන අනුමානය නිශ්චිතවම හෙළිකර ගැනීම කිමිදුම්කරුවන්ට තවමත් නෙහැකි වී ඇති බවද ඔහු පවසයි.
කුඩා රාවණා කොටුව ආශ්‍රිත මුහුදු කලාපයේ මුහුදු රළ සාමාන්‍ය තත්ත්වය යටතේ පවතින්නේ සෑම වසරකම මාර්තු මාසයේදී බවද සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන් සහ මෙරට කිමිදුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග ඊයේ (25 වැනිදා) සාකච්ඡාවක්ද පැවැත් වුණ අතර කොරල්පර පරිසර පද්ධතියට සිදුවූ හානියේ ස්වභාවය නිරීක්ෂණය කිරීම සඳහා අනිවාර්යයෙන්ම කිමිදී නිරීක්ෂණය කර, අවම වශයෙන් ඡායාරූප ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන් කණ්ඩායමක් සහ නාවික හමුදාව විසින් බෝට්ටු යොදා ගනිමින් නැව අනතුරට ලක්වූ ස්ථානය පෙරේදා (24 වැනිදා) පරීක්ෂාවට ලක්කරන ලදී.
ලයිබීරියානු නැව අනතුරට ලක්වීම නිසා තෙල් කාන්දුවක් හෝ එම නැවෙන් ප්‍රවාහනය කරමින් තිබූ සිමෙන්ති කාන්දුවක් සිදුවී නොමැති බවද අනාවරණයවී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ත්‍රිකුණාමලය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලයිබීරියානු නැව කුඩා රාවණා කොටුව ආශ්‍රිත ප්‍රදේශයේදී අනතුරට ලක්වූයේ ඉකුත් 23 වැනිදා පෙරවරුවේදීය.
අනතුරට ලක් වූ නැව උදම් රළ සමග ඉස්සීමකට ලක්වීම නිසා අනතුර සිදු වූ ස්ථානයේ සිට නාවික සැතපුම් පහක් පමණ දුරට ඊයේ (25 වැනිදා) රැගෙන ගොස් තිබූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහඳපුර පැවැසුවාය.
මෙම නැව සම්බන්ධව නාවික හමුදාව ඉදිරි පියවර ගනිමින් සිටින බවද ඇය සඳහන් කරයි.




