2021 ජනවාරි 18 වන දින ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සිදුවූ අනතුරක් හේතුවෙන් ගිලීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකුගේ (04) මෘත දේහයන් ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීම පසුගිය 23 දින ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, අන්තර් ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරිණි.
ජනවාරි 18 වන දින රාත්‍රියේ අන්තර් ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළුවී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටියදී සිදුවූ අනතුරක් හේතුවෙන් අතුරුදන්වූ ධීවරයින් සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් සිදු කරන ලද අතර, එම සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම මගින් අනතුර හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වු ධීවරයින් 04 දෙනෙකුගේ මෘත දේහයන් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. මෙම මෘත දේහ ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකුගේ සහ ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිත ඉන්දියාවේ වාසය කරන පුද්ගලයෙකුගේ බව මරණ පරීක්‍ෂණයේදී අණාවරණය විය.
එම මෘත දේහ සම්බන්ධයෙන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නීතිමය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජෙනරල් කාර්යාලය වෙත නිළ වශයෙන් භාරදීමෙන් පසු, එම කාර්යාලයේ ඉල්ලීම මත අදාල මෘත දේහයන් ඉන්දියාව වෙත රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කෙරිණි. ඒ අනුව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් මගින් මෙම මෘත දේහයන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අතුල්යා (ICGS ATULYA) නෞකාව වෙත භාරදීම ජනවාරි 23 දින සිදු කරන ලදී.
මෙම සියළු කටයුතු පවත්තා කොවිඩ් 19 අවධානම් තත්වය හමුවේ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කෙරුණු බව නාවික හමුදාව පවසයි.









