කුඩා රාවණාකොටුව ආසන්නයේ දී ඊයේ (23) අනතුරට ලක් වූ "යුරෝසන්" නෞකාවේ වත්මන් තත්වය නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.
අද (24) උදෑසන කිමිදුම්කරුවන් කණ්ඩායමක් නෞකාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කළ අතර මේ දක්වා සිදුකළ සොයා බැලීම්වලදී නෞකාවේ බඳ කොටසට හානි සිදුව ඇති බවට නිරීක්ෂණය වී තිබේ.
කෙසේවෙතත් අනතුරෙන් නෞකාවේ ඉදිරිපස සහ පිටුපස කොටසට හානියක් සිදුව නොමැති අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ නෞකාවට ජලය කාන්දු වන බවට හෝ සාගරයට තෙල් කාන්දු වන බවට කිසිදු සලකුණක් නොමැති බවයි.
තවද, නාවික හමුදාවේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නෞකාවේ තත්ත්වය පිරික්සීමට හා ඡායාරූප ලබා ගැනීම සඳහා SLAF බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් ප්‍රදේශයේ ගුවන් නිරීක්ෂණයක් සිදු කරමින් සිටින බව ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කළේය.
ලයිබිරියානු ධජය යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ත්‍රීකුණාමලය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබිය දී කුඩා රාවණා කොටුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබුණි.




