පිටකොටුවේ සිටින යාචකයින් හා වෙළෙඳසල් හිමියන් ඇතුළු 100 දෙනෙකු අද (20) රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසති.එම පරීක්ෂණ වන ප්‍රතිඵල අනුව ඒ අතුරින් 10 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
මේ අතර, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ පිළිකා ඒකකයේ සේවයේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී තිබේ. වවුනියාව ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරයාව බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.
මේ අතර වවුනියාව නගරයෙන් ආසාදිතයින් 26 දෙනෙකු වාර්තාවීමත් සමග ම මීට පෙර නගරයේ විවෘත කළ ප්‍රදේශවලට යළි සංචරණ සීමා පැනවීමට සිදුවී ඇති බව සෞඛ්‍ය අංශ පැවසුහ. මේ දක්වා වවුනියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 226කි.
මේ අතර නාවලපිටිය පස්බාගේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 68ක් අතරින් 20 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.කාන්තාවන් 12 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු ඊට අයත් බව වාර්තා වේ.
කොවිඩ් ආසාදිතයින් 770 දෙනෙකු ඊයේ (20) වාර්තා වීමත් සමග මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 55,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව 2020 ජනවාරි මස සිට මේ දක්වා මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් -19 ආසාදිතයින් ගණන 55,189කි.
කොළඹින් 270ක්, ගම්පහින් 80ක්, ගාල්ලෙන් 56ක්, මාතරින් 56ක්, මහනුවරින් 54ක්, මාතලෙන් 40ක්, මන්නාරමින් 36ක්, කළුතරින් 35ක්, වවුනියාවෙන් 26ක් හා තවත් දිස්ත්‍රික්ක 12 කින් ආසාදිතයින් 115 දෙනෙකු ඊයේ හඳුනාගැනුණි.
ආසාදිතයින් සුලභ ව වාර්තා වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අතරට නාරාහේන්පිට, උකුවෙල, නාවලපිටිය, වැල්ලවත්ත, අතුරලිය, වවුනියාව, ඉමදූව, තමන්කඩුව, වේයන්ගොඩ, බේරුවල, දර්ගා නගරය, සහ මන්නාරම යන ප්‍රදේශ අයත් වේ.




