අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගී වනවා.
ව්‍යාපාර හා ආයෝජන සංසදයක් මෙන්ම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් ඇතුළු තවත් ඉහළ මට්ටමේ කටයුතු ද සැලසුම් කොට තිබෙන අතර අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන නිල සාකච්ඡාවලින් අනතුරුව අද දින ශ්‍රී ලංකා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරු එක්ව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන එන ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබෙනු ඇති.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මේ වසරේ සිය රටෙන් බැහැර නිරත වන මංගල නිල සංචාරයේ දී පාකිස්තානයේ ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර වෙළඳ භාණ්ඩ,ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද මෙරටට පැමිණෙනවා.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මහතා, වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවූඩ් මහතා, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඩ් මහතා සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වනු ඇති.




