කොවිඩ් 19 වෛරසය ඇතුළු උණ රෝග සඳහා සාර්ථක ප්‍රතිඵල අත් කර දෙන බවට පර්යේෂණ මගින් තහවුරු වූ සුදර්ශන පැණිය ජනගත කෙරේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම් එක්ව සිදු කරන ලද පර්යේෂණ මගින් කොවිඩ් 19 ඇතුළු සියළුම උණ රෝග සඳහා සාර්ථක ප්‍රතිඵල අත් කර දෙන බවට තහවුරු කරන ලද ~සුදර්ශන පැණිය~ ජනගත කිරීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි සහ ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සනාතන රැස්වීම් ශාලාවේදී ඊයේ (30) දින සිදු කෙරිණ.
මෙම පර්යේෂණ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාතනයේ වෛද්‍ය සරෝජා වීරකෝන්, වෛද්‍ය කමල් පෙරේරා සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුගන්දිකා සුරේෂ්, මහාචාර්ය දුලානී ගුණසේකර යන මහත්ම මහත්මීන් විසින් සිදු කර ඇති අතර දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ භාවිතා වන වටිනා ඖෂධයක් වන සුදර්ශන චූර්ණය නමැති ඖෂධයේ ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා මීපැණි එක් කර නව ඖෂධයක් ලෙස වැඩි දියුණු කර තිබේ.
එහි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස හීන් බිං කොහොඹ සහ ඖෂධ අමුද්‍රව්‍ය 53 ක් සහ මීපැණි සංයෝග කර සැකසූ මෙම සුදර්ශන පැණිය දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දනය සඳහා පිහිටවූ කොවිඩ් මර්දන ජාතික කමිටුවේ නිර්දේශිත ඖෂධයක් වන අතර එය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, නාසයෙන් සොටු දියර ගැලීම, ආසාත්මිකතාවය, සමේ කැසීම සහිත අපහසුතා, ශ්වාස නාල ප්‍රදාහය, ආමවාත රෝග, අක්මාවේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා ගුණාදායි ප්‍රතිඔක්තිකාරයක් ලෙස ක්‍රියාකර වෛරස සහ බැක්ටීරීයා ආසාදන සහ ප්‍රතිශක්ති වර්ධක පානයක් ලෙසද පර්යේෂණ කණ්ඩායම් හඳුන්වා දී තිබේ.
එම අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර, බීම් හෙළ ඔසු ලංකා (පුද්) සමාගමේ සභාපති වෛද්‍ය බන්දුල රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු විශ්ව විද්‍යාලීය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.




