පාකිස්තානු යුද්ධ හමුදාධිපතිගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේදී එරට ‘වග’ (Attari-Wagah) දේශ සීමාවේ සාම්ප්‍රදායානුකූලව පවත්වන ධජ අවරෝහනය කිරීමේ සරඹ උත්සවය නැරඹීමට ද එක්වූයේය. මෙම උත්සව අවස්ථාව ඉන්දු - පාකිස්තාන දේශසීමා ආරක්‍ෂක හමුදා මගින් ඒකාබද්ධව පවත්වනු ලබන චාරිත්‍රානුකූල හමුදා අංගයකි.
පාකිස්තානු යුද්ධ හමුදාවේ පන්ජාබ් රේන්ජර්ස් දේශ සීමා අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් මුහම්මද් අමීර් මජීඩ් (Muhammad Aamir Majeed) විසින් මෙම අවස්ථාවට සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව රේන්ජර්වරුන් විසින් පවත්වනු ලැබූ විශේෂිත පෙළපාලියේදී එතුමන් වෙත ගෞරවාචාර පුදකළහ.
මෙම අවස්ථාවේදී එම දේශසීමා ආරක්‍ෂක භටයන් සමඟ අදහස් හුවමාරු කරගත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානු සාම්ප්‍රදායික සංස්කෘතික සංදර්ශනයක් නැරඹීමට ද එක්වූයේය. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරල් මුහම්මද් අමීර් මජීඩ් අතර පැවති සුහද හමුවේදී රේන්ජර් භටපිරිස් සම්බන්ධ පුහුණු වැඩසටහන් සහ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින ද්විපාර්ශ්වික සුහදත්වය සහ සහයෝගීතාවය මෙන්ම ඓතිහාසික බැඳීම් පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා කළහ.