ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වන්කාලෙයිපාඩු වෙරළ ප්‍රදේශයේ මාර්තු 30 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 33 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
වෙරළ කළාපය ඔස්සේ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් වෙරළ කලාපය ආවරණය වන පරිදි වෙරළ ආරක්‍ෂක පද්ධතිය ශක්තිමත් කර නිරන්තර අවධානයෙන් යුතුව මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව මාර්තු 30 වන දින උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම වන්කාලෙයිපාඩු වෙරළ ප්‍රදේශය දෙසට පැමිණි සැකකටයුතු යාත්‍රාවක් සම්බන්ධයෙන් එම වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වන්කාලෙයිපාඩු වෙරළට ඔබ්බෙන් නැංගුරම්ලා තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් තුළ පාර්සල් 15 ක අසුරා සූක්‍ෂම ලෙස සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 415 ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි.
නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා ප්‍රමාණය රැගෙනයාමට නොහැකිව සඟවා තබන්නට ඇතැයි සැක කෙරෙන අතර, මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණයේ වීථී වටිනාකම රුපියල් මිලියන 10ට අධික වන බවට විශ්වාස කෙරේ.
නාවික හමුදා භාරයටගත් කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.