බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ මාලදිවයින් හිටපු ජනාධිපති සහ එරට වත්මන් කතානායක මොහොමඩ් නෂිීඩ්ගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා.
පෙරේදා රාත්‍රියේ සිය නිවස ඉදිරිපිට මෝටර් රථයට නැගීමට සැරසෙද්දී අසල නතර කර තිබූ යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ මොහොමඩ් නෂීඩ් ඇතුළත් කෙරුණේ මාලේ නුවර ඒ.ඩී.කේ. පෞද්ගලික රෝහලටයි.
ඒ අනුව පැය 16 ක් තුළ ඔහුට දිවි රැක ගැනීමේ ශල්‍යකර්ම කිහිපයක්ම සිදුකර තිබෙනවා. හිසේ, පපු ප්‍රදේශයේ, උදරයේ සහ අත් පා වල සිදුවූ කැපුම් තුවාලවලට මෙලෙස ශල්‍ය කර්ම සිදුකර ඇති අතර, ඔහු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
53 හැවිරිදි මොහොමඩ් නෂීඩ් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ ප්‍රථම ජනාධිපතිවරයා වන අතර, වරෙක ඔහුගේ පාලන බලය පෙරලා සිරදඬුවමකටද ලක් කෙරුණා.
මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහය වීම සඳහා ඕස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිස් කණ්ඩායමක්ද අද මාලේ නුවරට පැමිණීමට නියමිතයි.
මේ අතර, හිටපු ජනපති මොහොමඩ් නෂීඩ්ට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකින බව මෙරට විදේශ අමාත්‍යංශය සඳහන් කළා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ මෙම තීරණාත්මක අවස්ථාවේදී මාලදිවයින් ජනතාව සහ රජය සමග සහයෝගීතාව ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව එක් වන බවයි.