මන්ත්‍රී වාහන ගෙන්වීම වෙනුවට ගිලන්රථ ගෙන්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
පවතින ආණ්ඩුව කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට අසමත් වී ඇති අතර ඒ හරහා රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බවත් ජීවන වියදම දිනෙන් දින ඉහළ යමින් ජනතාව මරණ බියෙන් තැතිගෙන සිටින අවස්ථාවක ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම නොවන බවත් මන්ත්‍රීවරයා පවසනවා.
මේ මොහොතේ කළ යුත්තේ එම මුදල් කොව්ඩ් වසංගතය පරාජය කිරීමට සහ ජනතා සහන වෙනුවෙන් යෙදවීම බව ඔහු කියා සිටිනවා.ජනතාවාදී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙන්නේ මහජන මුදල්වලින් වාහන ආනයනය කිරීමේ ආණ්ඩුවේ යෝජනාව වහාම නතර කරන ලෙසයි. එම මුදල් ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් යොදවන ලෙසත් රට සහ ජනතාව කෙරෙහි මීට වඩා සැබෑ ආදරයකින් කටයුතු කරන ලෙසත් සමගි ජන බලවේගය මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා මෙම නිවේදනයේ වැඩිදුරටත් පවසා තිබෙනවා.
මෙම වාහන ගෙන්වීම වෙනුවෙන් විවෘත කළ ණයවර ලිපි අවලංගු කිරීමට නොහැකි නම් ඒ වෙනුවට 1990 සුවසැරිය සඳහා හදිසි අවශතාවයක් සේ සලකා ගිලන් රථ 112 ක් ගෙන්වීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.