අද (08) පෙරවරුවේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ උද්ඝෝෂණයක් අතර තුර පොලීසිය විසින් පුද්ගලයින් 31දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අත්අඩංගුවට පත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙනමක් හා කාන්තාවන් දෙදෙනෙක් ද සිටින බවය.
රත්කරව්වේ ජිනරතන හිමියන් හා ජෝශප් ස්ටාලින් යන අය ද අත්අඩංගුවට පත් පිරිස අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අත්අඩංගුවට පත්වු පිරිස අද නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මහජනතාව වැඩි වශයෙන් ඒකරාශි වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම්
නැවත දැනුම්දෙන තුරු සිදුනොකරන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා
පොලිස්පතිවරයාට දැනුම් දී ඇති පසුබිමක පාර්ලිමේන්තු වටරවුම අසල දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව එම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, ලංකා ගුරු සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම උද්ඝෝෂණයට එක්ව සිටියේය.
උද්ඝෝෂණය අතරවාරයේ තලංගම පොලීසිය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් පැමිණි අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් ඇති විය.