තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කළ එදිරිසිංහ පවුලට අයත් දේපළ වහාම රජයට පවරා ගන්නා ලෙස ඊ. ටී. අයි. (ETI) තැන්පත්කරුවන්ගේ සංගමය ඉල්ලා සියිනවා.
නීතිපතිවරයාගෙන් සහ අධිකරණ ඇමැතිවරයාගෙන් ද විශේෂ ඉල්ලීමක් කරමින් ඔවුන් සඳහන් කරන්නේ .පවුල් 45,000 කගේ මුදල් මහ දවාලේ මංකොල්ල කෑ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඔවුන්ගේ දේපොළ කඩිනමින් රජයට පවරා ගන්නා ලෙසයි.
එහි සභාපති අනුෂා ජයන්ති මහත්මිය කොළඹදී පැවත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළා.
‘‘අද ආණ්ඩු පක්ෂයේ සිටින ප්‍රබල ඇමැතිවරුන්, විපක්ෂයේ සිටින කාලයේදී අපේ දුරකථන අංක ඔවුන් විසින්ම සොයාගෙන මේ ප්‍රශ්නෙට උදව් කරන්න සාකච්ඡා පැවැත්වුවා. නමුත් ඒ පිරිස අද බලයේ සිටියද අඩුම තරමින් ඔවුන්ව දුරකථනයෙන් හෝ සම්බන්ධ වීමට අපිට හැකියාවක් නැහැ. අද අපේ අතපය හිර කරලා පැත්තකට කරලා තියෙන්නේ. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න විදියක් නැහැ. උසාවියකට යන්න බෑ. නඩුව අවුරුදු ගණනක් කල් යනවා. පාරට බහින්න බෑ. කොවිඩ් නිසා ඇතුළට දානවා. මේ වනවිට එදිරිසිංහලා සතුව විශාල පෞද්ගලික දේපළක් තිබෙන බව අපි දන්නවා. ඒවායේ මාසික ආදායම තාමත් ඔවුන් ලබනවා. අපේ සල්ලි හොරකම් කරපු ඒ අයට දැන් හරි ෂෝක්. උසාවිත් නැහැ. මිනිසුන්ට පාරට බහින්නත් නැහැ. මේ ප්‍රශ්නය වළ දාන්න හදනවා නම් කොරෝනා පැත්කකට දාලා ඊට එරෙහිව අපි නැගී සිටිනවා.
ස්වර්ණවාහිනි ඇතුළු මාධ්‍ය ආයතන විකිණීම නීති විරෝධීයි. ඒ නිසා ඒවා නැවත රජයට පවරා ගන්නවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. නමුත් දැන් අපිට සැකයක් මතුවී තිබෙනවා අපි බලාපොරොත්තු වන දේ ඉෂ්ට වෙයිද කියලා’’ යනුවෙන් ඊ. ටී. අයි. තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවා.




