උතුරු නාවික විධානය අද අළුයම යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 344 යි ග්‍රෑම් 550 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනකු හා ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
අදාළ සැකකරුවන් තිදෙනා අවුරුදු 34-38 අතර වයසේ පසුවන නච්චිකුඩා,මන්නාරම සහ යාපනය ගුරුනගර් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව නාවික හමුදාව පවසයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු තීරයේ සිදු කරන නිරන්තර සෝදිසි කිරීම්වලදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ මෙම සැකකටයුතු ඩිංගි යාත්‍රාව පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහි තිබී රුපියල් මිලියන 103කට අධික වටිනා කමින් යුත් පොලිතීන් මළු 11ක අසුරන ලද තෙත බර සහිත මෙම කේරළ ගංජා තොගය සොයාගෙන තිබෙනවා
නාවික හමුදාව සැක කරන්නේ අන්තර්ජාතික මුහුදු සීමාවේ දී ජාවාරම්කරුවන් විසින් කේරළ ගංජා තොගය ලබාගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහ දරා ඇති බවයි.
අදාළ සැකකරුවන් තිදෙනා,කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලිසිය වෙත භාරදීමට නියමිතයි.








