දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර ඊයේ (27දා) සඳහන් කළේ කොලොන්නාවේ සිට ගාල්ල දක්වා දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී ඉන්ධන ලීටර් දහතුන් දහස් හාරසිය හැත්තෑ හයක් (13,476ක්) අතුරුදහන් වී තිබෙන බවයි.
රුපියල් දහතුන් ලක්ෂ හැටතුන් දහස් හයසියයකට අධික පාඩුවක් මේ හේතුවෙන් දැරීමට සිදුව ඇති අතර දින 32ක කාලයකදී මෙම පාඩුව සිදුව ඇති බව සඳහන්ය. මීට අදාළව දුම්රිය මූලස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබෙන බවත් ඒ අනුව දුම්රිය ධාවනය වූ මාර්තු මස 20, 30 යන දිනවල දී හා අප්‍රේල් 01,02,03,09,10 දිනවලදී පමණක් අඩුවකින් තොරව ඉන්ධන ප්‍රවාහනය සිදුව තිබේ. මාර්තු 21,27 සහ 28 යන දිනවලදී පමණක් ලීටර් දහස ඉක්මවූ ඉන්ධන ප්‍රමාණයන් අතුරුදහන් වී ඇත.
මෙම පැමිණිල්ලට අනුව මාර්තු මාසයේදී ඉන්ධන ලීටර් හත් දහස් හත්සිය අසූවකුත් අප්‍රේල් මාසයේදී ලීටර පන්දහස් අටසිය පනස් හයකුත් අතුරුදහන් වී ඇතත් දුම්රිය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් මේතාක් ආරම්භ කර නොමැත.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධාකාරි (වාණිජ) ඩම්.එස්. පොල්වත්තගෙන් කළ විමසුමකදී සඳහන් කළේ මෙවන් ඉන්ධන අඩුවීමක් පිළිබඳව හෝ අතුරුදහන් වීමක් ඛනිජ තෙල් සංස්ථාවෙන් හෝ වෙනත් ආයතනයකින් කිසිදු පැමිණිල්ලක් සිදුව නැති බවය. ඒ ආකාරයේ අඩුවීමක් ඇත්නම් එම පාර්ශ්වයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වන බවත් දෙපාර්තමේන්තුව තුළින් ඉදිරිපත් වන චෝදනා පිළිගත නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
ඉන්ධන ප්‍රවාහන දුම්රිය දහයකට ආසන්න සංඛ්‍යාවක් මඩකලපුව, වව්නියාව, ගාල්ල, පේරාදෙණිය, කඩුගන්නාව යන ප්‍රදේශවලට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගබඩා වෙත ධාවනය වන අතර ස්වාභාවික හේතුන් මත යම් ආකාරයෙන් ඉන්ධන අඩුවීම් වාර්තා වුවත් මේ ආකාරයේ බරපතළ ප්‍රමාණයකින් ඉන්ධන අඩුවීමක් ගැන මේතාක් වාර්තා වී නැති බවයි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.




