ලබන 1 වැනිදා සිට කෑම එතීම සඳහා භාවිතා කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්ච් ෂීට්) නිෂ්පාදනය හා බෙදාහැරීම තහනම් කිරීමට රජය තීරණය කර ඇත.
මේ සඳහා සහය දැක්වීමට මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලයේ සියලු නියෝජිතයන් එකඟතාව පළ කර ඇත.
පරිසර අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට දැනට ක්‍රියාත්මක සියලු සුපිරි වෙළෙඳසැල්වල නියෝජිතයන් අතර පැවතිනි. පරිසර අමාත්‍යාංශය පැවසුවේ දිරාපත් වන ලන්ච්ෂීට් අලෙවිය රට වෙනුවෙන් කරන සේවාවක් බැවින් ලාභය නොසලකා ඊට සහයෝගය දෙන්නැයි අමාත්‍යවරයා සුපිරි වෙළෙඳසැල් නියෝජිතයින්ගෙන් කළ ඉල්ලීමට ඔවුහු එකඟතාව පළ කළ බවයි.
මහින්ද අමරවීර මහතා පැවසුවේ ගැසට් නිවේදනයක් මගින් 2017 දී පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරණ ලන්ච්ෂීට් තහනම පළ කර තිබුණත් එම තහනම මෙතෙක් විධිමත් ලෙස ක්‍රියාත්මක වී නැති බවත් නොදිරන ලන්ච්ෂීට් තහනම ලබන 1 වැනිදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බවත්ය.
ඒ වෙනුවෙන් ජනතාවට විකල්ප හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවත් එමහතා එහිදී සඳහන් කළේය.