ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (LPL) දින නියමයකින් තොරව කල් යනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන්කර සිටිනවා.
මෙම තරගාවලිය ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ කණ්ඩායම් 5කගේ සහභාගිත්වයෙන් මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුනා.නව කොරෝනා ප්‍රභේද හමුවීමෙන් ඇති වී තිබෙන අවදානම් තත්ත්වය මත හා දැනට පවතින කොරෝනා වයිරස තත්ත්වය හමුවේ විදෙස් ක්‍රීඩකයින් ගෙන්වා ගැනීමේ අවදානම මත අදාළ කල් යාම සිදු කෙරෙනු ඇති.
නව කොවිඩ් ප්‍රභේදයන්හි හැසිරීම සම්බන්ධයෙන් නිගමනයකට එළැඹීමට සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගතවන බැවින් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී නැති බවටද ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා
සැලසුම් කළ පරිදි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ නම් මේ මස 15 වැනිදාට ප්‍රථම ක්‍රීඩක වෙන්දේසිය සිදු කළ යුතු විය. නමුත් පවත්නා තත්ත්වය මත ක්‍රීඩක වෙන්දේසිය පවා පැවැත්වීමට නොහැකි වී ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන්කර සිටී.
තවද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දැරූ පාර්ශ්වයේ කොන්ත්‍රාත්තුව සංවිධායකයින් විසින් අවලංගු කර ඇති බවට පුවත් පල වුවද, එවැනි ගැටලුවක් මතු වී නොමැති බවට ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකරුවන් වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් තබා තිබෙනවා
බංග්ලාදේශය නියෝජනය කරමින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වීමේ අපේක්ෂාවෙන් පසු වු ශකීබ් අල් හසන් ඇතුළු ක්‍රීඩකයින් 7 දෙනාව ලංකා ප්‍රිමියර් ලීගයේ මුල සිටම නිදහස් කළ නොහැකි බවට බංග්ලාදේශයේ ක්‍රිකට් මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් විසින් මීට පෙර විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේය.